Liyawilla [ ලියවිල්ල ]: සිහියෙන් සිටිය යුතු කාලයයි මේ....

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


සිහියෙන් සිටිය යුතු කාලයයි මේ....

Posted by Gayan Anuradh Liyanage Labels:


විවිධ හේතූන් මත සිදුවූ දිගු නිහැඩියාවකට පසු ලියාගේ ලියවිල්ල හරහා තත්කාලීන සාමාජීය උදෘතයන් පිළිබඳ ලියාගේ ලපටි අදහස් දැක්වීමට නැවතත් එක් වෙමි. නිහැඩියව දිගු වූ නිසවෙන්ම සාකච්ඡවට බඳුන් කිරීමට පෙලගැසුනූ උදෘතයන්ද බොහෝය. මේ අතර ප්‍රමුඛස්ථානයෙහිලා සැලකීමට සිත්වූයේ සමස්ත පෘථිවි වාසීන්ගේම අවධානය දැඩිව වෙලාගත් "උතුරු අප්‍රිකානු - මැදපෙරදිග අර්බුදය" පිළිබඳවයි. 

                මාස කීපයකට පෙරදී අප අනාවැකි පල කල පරිදිම මැදපෙරදිග අර්බුධ්ය ඇමරිකානුවන්ට ජයග්‍රහණ අත් කරදෙමින් අනුක්‍රමිකව පියවරෙන් පියවර ඉදිරියට ඇදෙමින් පවතී. ටියුනීසියාව , ඊජිප්තුව හරහා පැමිණ ලිබියාවේදී මල්වර වූ මේ කැරලි රැල්ල සත්‍ය වශයෙන්ම හුදී ජන නැගී සිටීමක් නොව සමස්ත බටහිර අධිරාජ්‍යවාදී සූක්ෂම කුමන්ත්‍රණයක මවා පෑමක් බව බහුතරයකට තේරුම් යමින් පවතී. තම පදයට නටනා රූකඩ නොවන, කශේරුකාව පණ ඇති නායකයන් සිටින ස්වාධීන රටවල තිබෙන්නා වූ යතුරු සිදුරු තුලින් රිංගා යමින් මහා අර්බුධකාරී වාතාවරණයක් රෝපණය කර , ඌරාගේ මාලු ඌරාලවාම කපවන තැනට පත් කරවීමේ අපූරු යටත් විජිතකරණ ව්‍යාපාරයක බටහිර ඇත්තෝ  ක්‍රියාත්මක වෙමින් සිටී. 
         හැංගි හැංගී නැටූ නැටුමේ රඟ සොබා ටික ටික එලි දකිද්දී වෙස්මුහුණු ගලවා දමා බැටළු හම් පොරවා ගෙන යුධ බිමට බැසීමට තරම් නේටෝව ඇතුළු ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීහු නිර්ලජ්ජිත වී ඇත. "සතුරාගේ සතුරා, මාගේ මිතුරාය" යන න්‍යාය මත සිටිමින් සතුර නැසීමට එක්වන මොකා එක්ක වුවද එක්වී දැනට සිටින සතුරා විනාශ කලයුතුය යන මුග්ධ තීරණයෙහි සිට ඔවුහු නිවරදිව ගඩාෆි පාලනය බිඳ හෙලීය. රට කලින් තිබුණේ කොතැනද, රට දැන් තිබෙන තැනට ගොඩනැගුවේ කෙසේදැයි නොදන්නා වර්තමානයේ ආතල් එකේ දිවි ගෙවූ, සමහර චූටි ආතල් අහිමි වූ රැඩිකල් යැයි කියාගන්න මුග්ධ ස්වදේශිකයන්ද එක් වී අදිරාජ්‍යවාදීන්ගේ සටන සවිමත් කලෝය. සැබවින්ම විවිධ අරමුණු වලින් සැදුම්ලත් විවිධ කණ්ඩායම් හා එක්ව එක් මිනිසෙකු විනාශ කල පසු ඇතිවන වල්මත්භාවය පිලිබඳ ඔවුන් කිසිලෙසකවත් නොසිතන්නට ඇත. ගඩාෆි පාලනය අවසන් කරගෙන නිදහස ලද්දා යැයි කියන ලිබියානුවන්, අල්කයිඩා ධජය ඔසවද්දී එම නිදහස දීමට මූලික වූ ඇමරිකානු රජය ඇමරිකානු ජනයාට කෙලෙස නිර්ලජ්ජිතව මුහුණ දෙනවාද?  සැබවින්ම ධනය හා බලයට කෑදරකමේ ඇමරිකාව එදා සිටම තම සතුරු නයි පැටවුන්ට කිරි පොවා ඔවුන් දල හතේ නාගරාජයන් වූ පසු ඇති පමණ බැට කෑවෝය. ඉදිරියේදීද එවැනි දෑ සිදුවීම නොවැලැක්විය හැකි වනු ඇත. එනමුත් මෙහිලා සැලකීමට තවත් කරුණු කාරණා රාශියක් ඇත්තේය. 

      මානව හිමිකම් ගැන ඇස් දෙකටම ඇඩෙන කතා කියන සමහර මානව හිමිකම් සංවිධාන ඇස් පනාපිටම වයෝවෘද මිනිසෙකු තිරිසනකු සේ මහමග මරා දැමීම කෙලෙස අනුමත කලාද? කුමන වරද කලත් ගඩාෆි නීතිය හමුවට නොපණවා මරා දැමුවේ ඇයි? පිළිතුර අනුමානකල හැක. ලෝකයට සත පහක් ණය නැති ලිබියාව තුල සංචිත තෙල් සම්පත බාධාවකින් තොරව අත්පත් කර ගැනීමේ මූලික අභිප්‍රාය ඔවුන් සතු විය. ගඩාෆි මියයාම තුල BP (British Petroleum) වැනි ප්‍රමුඛ පෙලේ තෙල් සමාගම් වලට අධිකරණයකදී ගඩාෆි අතින් කියවෙන්නට නියමිත සමහර අවාසිදායක කාරණා හෙලි නොවීම තුල වාසි දායක තත්වයක් ඇතිවී ඇත. එමෙන්ම ගඩාෆිගෙ මිය යාම සමස්ත බටහිරටම තම වතමන් සටන මතවාදීව අර්බුධයකින්වත් තොරව කරගෙන යාමට අවශ්‍ය ඉඩ සර මනාව ලබා දී ඇත. කෙසේවෙතත් ටියුනීසියාව, ඊජිප්තුව සේම ස්වාධීනත්වයේ කන්‍යාභාවය අහිමි වී අවතැන් වී සිටින රාජ්‍ය අතරට ලිබියාවද දැන් එක්වී ඇත. 
     හොර රහසේම ඇමරිකානුවන් රිසි සේ සම්පත් උරා ගනිද්දී ලෝවැසියන්ට නාටකයේ ඊලඟ කොටසේ පූර්ව ප්‍රචාරක පට පෙන්වීමට පටන් ගෙන ඇත. මීලඟ ගොදුර "සිරියාව" බව ඒවාහි පෙන්වන්නේය. තවමත් සිදුවන යටි මෙහෙයුම ඇස නොවැටුන ජනයා, නොකැණූ ඛනිජ බිම් බහුල සිරියාවේද මරණ සහතිකය අමරිකානුවන් ලවා ලියවා ගැනීම නොඅනුමානය. කෙටිකාලීන ව්‍යාපෘති හරහා කෙමින් කෙමින් මහා ඉලක්කය වන ඉරානය කරාද මෙහෙයුම දික්ගැස්සෙනු ඇත. එතැනකුදු මේ මහා නව අධිරාජ්‍යවාදී මෙහෙයුම අවසන් වුවහොත් පුදුමය. ඉන්පසුව ඔවුහු ආසියාව කෙරේ ඇස යොමු කිරීම සිදු නොවෙතැයි අපේක්ෂා කල නොහැක. අන්න එතැනදී අපිටද අපි ගැන සිතන්නට සිදුවනවා ඇත්තේය.  

        ගෙවී ගිය මාස කිහිපය තුල ලංකාවේ ජන සමාජය තුලද මතු වූ කාරණා සැලකිය යුත්තේමය. මැතිවරන සැණකෙලියේ අවසන් අදියරේ අවසන් දිනයේ සිදුවූ භාරත-දුමින්ද ගැටුම රට තුල සැලකිය යුතු ආන්දෝලනයක්  ඇති කල අතර එහිලා නැගුන දෝංකාරය තවමත් පහව ගොස් නැත. ගැටුම හරහා මේතාක් රට වැසියන්ට රහසක්ව තිබූ ප්‍රසිද්ධ රහස් සමූහයක් එලිපිට හෙලිවන්නට පටන් ගත්තේය. මේ හරහා විශාලතම කැලඹීම  ඇතිවන්නේ දේශපාලන ප්‍රතිරූපයන්ට හා පාතාල ලෝකයේ සාමාජිකයන්ටය. දේශපාලකයන් සතු බලයද අභිබවා යන තරම් බලයක් සන්තක කරගත් පාතාලයක් කොලඹ පැවති බව  හුදී ජනයාද දැනගන්නට වන්නේය. 
  
       හෙරොයින් වෙළදාමත්, ඉඩම් ගොඩ කර විකිණීමත්, කප්පම් ගැනීමත් ප්‍රමුඛ ආදායම් මාර්ග කරගත් පාතාලය, බලයේ සිටින දේශපාලකයන් කුමන පක්ෂයක වුවත්  ඔවුන් හා දීග කෑවේ තමන්ගේ ඉදිරි පැවැත්ම උදෙසාමය. එවන් පරිසරයක් තුල දින දින දියුණුවේ හිණි පෙත්තටම නැගි පාතාලය, කොලොන්නාව, මුල්ලේරියාව,කඩුවෙල පමණක් නොව මුළු කොලඹ දිස්ත්‍රික්කය පුරාම නිළ නොවන රාජ්‍ය පාලනයක් සිදු කර තිබුණේ නිළ රාජ්‍ය පාලකයන් හා එක්වමය.

             කලු අජිත්, සුදු මහත්තයා, ප්‍රින්ස් කොළම්ගේ, ධම්මික අමරසිංහ, කඩුවෙල වසන්ත, පස් චූටි, කටා රොෂාන්, කරාටේ ධම්මික වැනි අඩු ආයුෂකාරයන්ගේ, අතින් අත මාරු වූ පාතාලය පිළිබඳව නැවතත් කතා බහට ලක් වන්නේ භාරත මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ දෙමටගොඩ චමින්ද ඉන්දියාවේදී අත්ඩංගුවට පත් වීමත් සමඟය. ඒ හරහා කොලඹ පාතාලයේ නම් ගම් වැඩ කිඩ හෙලිවන අතර පාතාල ලෝකයම කඩි ගුලක් මෙන් කැළඹීමට පත් වන්නේය. භාරත-දුමින්ද ගැටුම හුදු දෙපිරසක ආරවුලකට එහා යන සිදුවීමක් වන්නේ මෙවැනි කාරණා නිසාවෙනි. මේ සඳහා තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් බොරැල්ල ප්‍රදේශයේ දේශපාලකයකු හරහා සිදු වූ බව, නොකියා කියන තැන්ට චූදිත පාර්ශවයකට නැකම් කියන ගුවන් විදුලි නාලිකාවක් පත්ව සිටින්නේ ගැටළුව තවදුරටත් උග්‍ර කරමිනි. මෙවැනි නොවිසදුන ප්‍රශ්නාර්ථ රාශියක් මහජනයා ඉදිරිපිට තබමින් ගැටළුව ඉදිරියට ඇදෙන්නේය. කෙසේවෙතත් මෙවැනි සිදුවීම් හරහා රජයේ ජනප්‍රියත්වය සෝදාපාලුවට ලක් වීම වැලැක්විය නොහැකි කරුණක් වීමට පුලුවන.

         මේ අතර අපි මීට පෙර ලියවලි වලදී සඳහන් කල "පාතාල මර්දනය කලාය" යන ප්‍රකාශය පුස්සක් වන්නේදැයි යමකු විමසිය හැක. සැබවින්ම එය සිදු වූ බව පැහැදිලිය. එහිදී මාලිගාවත්ත ආශ්‍රිතව ගොඩනැගුණ දැවැන්ත මුස්ලිම් පාතාලය STF බලය යොදවා මර්දනය කලා යැයි මාධ්‍ය වාර්තා පවා එකල පලවූව මතකය. නමුත් බොහෝ මාධ්‍යයන් පවා මුනිවත රකින පුවතක් ඊයේ පෙරේදා දියක ඇස ගැටීම තුල මුස්ලිම් පාතාලය ජාතිවාදීත්වය කරා යොමු වන ආකාරයේ පූර්වාදර්ශයක් බලපිටිය ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. සිංහල තරුණයන් දෙදෙනෙකු බලපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් අතින් ප්‍රහාරයකට ලක් වීම එම කරුණයි. මෙම ගැටුමට හේතුවූ කාරණය කුමක් වුවත් නීතිය අතට ගෙන කටයුතු කිරීමට යම් පිරිසක් කටයුතු කරයි නම් ඔවුන් පාතාලයන් බඳු වන්නේය. එමෙන්ම එය සිදු කරන්නේ යම් ජාතිවාදීත්වයක් ඉස්මතු කරමින් නම් තත්වය වඩාත් භයානකය. එය කුමන පාර්ශවයකින් සිදු වුවද අනුමත කල හැකි පූර්වාදර්ශයක් නොවන්නේය. දොම්පේ, කරන්දෙනිය ආදී ප්‍රදේශවලදී මෙන්ම ග්‍රීස් යකුන් ආදී සිද්ධි වලදීද සාමාන්‍ය ජනයා නීතිය අතට ගෙන ක්‍රියා කිරීම "යුක්තිය වෙනුවෙන් එකමුතු වීම" න කරුණ අරඹයා සාධාරණ ස්වරූපයක් දැරුවද නීතියේ ආධිපත්‍ය පවතින ශිෂ්ඨ සමාජයක් තුල පිළිගත නොහැකි කාරණයක් වන්නේය.

                 අප මේ ලියවිල්ල මුලදී සඳහන් කල "මැද පෙරදිග අර්බුධය" වැනි කාරණයක් අවාසනාවකට හෝ ලංකාවේ ඇති වුවහොත් පාතාලය හා මෙවැනි සිදුවීම් එවැනි අවස්ථාවක අනිවාර්ය වැරදි පූර්වාදර්ශ වන්නේය. ලොව පුරා රැල්ලක් සේ හඹා යන විටෙක ස්වාභාවික යැයි පෙනෙන නමුත් කෘතිම ලෙස හටගැනුනු මහජන නැගී සිටීමක් වැන්නක් ලංකාවේද ඇති වෙයි කියා සමහර කුහක බලවේගයන් බලා සිටිනු ඇත. නමුත් තම පක්ෂය තුලම සිටි සැගවුණ නායකයන් ඉස්මතු වී පිල් බෙදීම හරහා ඔවුනොවුන්ගේ පක්ෂ අභ්‍යන්තර ඇනකොටා ගැනීම් තුලම ඔවුන් අතරමං  වී ඇති  වටපිටාවක, එවන් වික්‍රමයක් පෑම ඔවුන්ට පහසු නොවනු ඇත.  

            මේ අයුරින් සමස්ත දේශපාලන පක්ෂ සියල්ලෙහිම වාගේ අඩු වැඩි වශයෙන් අර්බුධ පෙන්නුම් කෙරුණත්, රට සංවර්ධනය යන  කාරණයේදී ඉදිරි ගමනක් පෙනීම සහ "ගාමනී, බඹර වළල්ල" වැනි විශිෂ්ට සිනමා නිර්මාණ දැකීම තුලවත් සැනසුම් සුසුමක් සෙලීමට ජනයාට හැකි වි ඇතත් පවතින ආර්ථික හා සමහර දේශපාලනික උස් පහත් වීම් හරහා ජනයා තුල ඇති එම සුබවාදී ආකල්ප ද අහිමි වුවහොත් කොතරම් ගුණ කලත්, දන දුදන වීම වැලැක්වීම ඉතා අසීරු කරුණක් වනු ඇත්තේය.

                    කරුණු කාරණා මෙසේ තිබියදී ජාත්‍යන්තරව මෙන්ම දේශීයවද අවිනිශ්චිත කාරණා රැසක් කෙරේ යොමු වූ ප්‍රශ්ණාර්ථ බොහොමයක් උද්ගත වී ඇත. එමනිසා ඉදිරි අනාගත කාලය තුල සැබවින්ම එලඹි සිහියෙන් යුක්තව, නුවණින් කටයුතු කිරීම සෑම ජන මනසක් විසින්ම වගබලා ගත යුතු විශ්වීය අවශ්‍යතාවක් වන්නේය. එසේ නොවුනහොත් තම අනාගතය තමා විසින්ම වනසා ගත් පශ්චත්තාපී ජන සමූහයක් පෘථිවි  තලය තුල අවතැන් වී සිටින දිනය වැඩි ඈතක නොවනු ඇත.


Share |

0 comments:

Post a Comment