Liyawilla [ ලියවිල්ල ]: ජාතිවාදියකු වේ යැයි බියේ... ජාතිආලයකු නොවී සිටීම...

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


ජාතිවාදියකු වේ යැයි බියේ... ජාතිආලයකු නොවී සිටීම...

Posted by Gayan Anuradh Liyanage Labels:

                                 

"ඇත්තටම අපි නිදහස්ද?" මැයෙන් පසුගිය නිදහස් දිනයේ මුදාහැරි ලියවිල්ල වෙ ලැබුන comments හමුවේ ලියාට හැඟුන දෑ නැව ලියවිල්ලකට එක් කල යුතු යැයි සිතුනා. (එල මචං, මාරයි..,පට්ටයි බං,මට ඇඩෙන්න ආවා.. වැනි comments 50ක් 60ක් නැති වුවද වැදගත් comments සුලු ප්‍රමාණයක් හෝ ලැබීම ආධුනිකයකු වශයෙන් ලියාට විශ්මිත සතුටක් ගෙන දීමට සමත් වුනා.)

        පෙර කී ලියවිල්ල තුලදී 48 දී ලැබූ නිදහස හුදු නාමමාත්‍රික, ලේඛනගත නිදහසක් ලෙස ලඝු කොට අර්ථ දැක්වීමට මට අවශ්‍ය වූයේ නැත. එය වනාහී වසර 400ක හෙල ජනයාගේ ලේ දහදිය නිදන්ගත වෙමින් ලද සුවිශේෂී අරගලයක අවසානය බව මම පිලිගනිමි. නමුත් මා හට එහිලා ඇති ගැටළුව වන්නේ, ආරම්භයේ හා මැදභාගයේ එම අරගලය තුල පැවති ජාති ආලය හා ජතිකත්වය පිළිබඳ පහන් ආකල්ප අවසානයේදී ඉතිරි වූවාද යන්නයි. සුදු අධිරාජ්‍යවාදීන්, රාජ්‍ය අත හැරියද ඔවුන්ගේ ගෞරවය නැති කර නොගත්තේය. හෙලයන් ලැබූ ජය තුල අනාගතයේදී ආඩම්බරයක් ඇති නොවන තැනට වැඩ කිරීමට උන් උපායශීලී විය.
                                    
                       ඔවුන්ගේ සොයා ගැනීම් ලෙස ලක්දිව තුල වූ අග්‍රගණ්‍ය ස්ථාන (හෝටන් තැන්න වැනි ස්ථාන ) වලට නම් තබා ගිය ඔවුන් , ඔවුන්ගේ පරජිත භූමි වූ මුල්ලේරියාව, ගන්නෝරුව, බෝගම්බර, දන්තුරේ , රන්දෙනිවල වැනි ස්ථාන වලට කල කී දෑ මොනතරම් නම් කෛරාටිකද? අද වන සිට අප පරම්පරාවේ තරුණයන්ට මුල්ලේරියාව කියන විට මතක් වන්නේ පිස්සන් කොටුවකි. ගන්නෝරුව කියනා විට මතක් වන්නේ දෙවන රාජසිංහ රජුගේ ජය බිම නොව කෘෂිකර්ම පර්යේෂන ආයතනයකි. ඔවුන්ට බෝගම්බර යනු කැප්පෙටිපොල විරුවා වීරයකු ලෙස අවසන් ගමන් ගිය ස්ථානය නොව මහා අපරාදකරුවන් සිටිනා හිරගෙයකි. අනාගත පරපුරට තම ජාතිය කෙරේ ඇති වන අභිමානය විනාශ කිරීමට ඔවුන් යෙදූ උපක්‍රම එපණකුදු නොවේ.
                                 
                       1912 දී ටිබෙට් දේශයේ සිට පැමිණ 1951 දක්වා ලක්දිව නිදහස වෙනුවන් විදේශිකයකු ලෙස නොව සැබෑ හෙලයකු ලෙස කවිය අවිය කරගත් මහින්ද හිමියන් " මහණකමත් බණ පදයත්" ජාතියේ නිවහල් බව ලෙස සැලකුවද පසු කාලීනව හෙලයන් ලියූ කවි ගී වලින් එවන් බලයක් ජනිත වූයේද? සේකරයන්ගෙන් පසු පරාක්‍රම කොඩිතුවක්කු , රත්න ශ්‍රි විජේසිංහ වැනි කිවියන් හැරුණකොට ජාතිකානුරාගී ගේය පද රචකයන් ලාංකේය කලාව තුල ඉස්මතු නොවූයේ අහම්බයකටද? නැත. එයද පෙර කී අධිරාජ්‍යවාදී මෙහෙයුම් වල ප්‍රතිඵලයක්ම විය.

                                    ජාතියට ආලය දනවන ලේඛනයක නියලෙන්නා ජාතිවාදියකු ලෙස ඊනියා ප්‍රජාත්‍රන්තවාදය හංවඩු ගැසුවේය. එනිසා ඔහු ජාතිවාදියකු වීමට බියේ, ජාති ආලයකු නොවී සිටියේය. එමෙන්ම නව ලිබරල්වාදී ආර්ථික සංකල්ප ඇතුලේ බහුතර ජනයා අතරමං වෙද්දී කලාකරුවා ඒ ජනයාටද ජාතියටද වෛර කරන්නෙක් බවට පත් විය. එනිසා ඔහු දිගින් දිගටම තම ඍණාත්මක අදහසම සමාජය තුල වැපුරුවේය. මෙවන් වූ පරිසරයක් තුල සමස්ථයම ධීන වීම අහන්නත් දෙයක්ද? 

                                        එනිසයි අපි මෙහිදී පවසන්නේ, ජාතිය කෙරේ අප්‍රමාණව විවේචනය නොකර, කෙසේ හෝ මේ ඇරඹි ඇති වෙනස තුල, ඉදිරියේදීවත් ජාතියට ආලය කරන, නමුත් ජාත්‍යන්තරය තුල හුදකලා නොවන, ආදරයෙන්, කරුණාවෙන්, කලාවෙන්, තාක්ෂණයෙන් සන්නද්ද වූ රැඩිකල් පරපුරකට අවශ්‍ය ධනාත්මක ආකල්ප ඔවුන්ට වැටහෙන ලෙස පවසා අධීන ජාතියක ප්‍රෞඩත්වය නැවත ගොඩනගමු යි කියා.
Share |

9 comments:

  1. Anonymous

    ඔබගේ කරුනු වලට 100%ක් එකග වන මුත් ඔබගේ ප්‍රාර්තනාව ඉටුවේයැයි සිතිය නොහැක.ඒ අද අප සමාජය පවතින ආකාරය නිසාය.

    අතීතයේ මිනිසුන් තමන්ගේ ජාතිය,ආගම රැක ගැනීමට මහත් වෙහෙසක් දැරුහ.1505හේ සිටම මේ දේ අඛන්ඩව සිද්ද උනා.නමුත් මෑත කාලයේදී සිංහලුන්ට තමන්ගේ ජාතිය නමට පමනක් සීමාවී තිබෙනවා.තමන්ගේ ආගම නමට පමනක් සීමා වී තිබේ.එනම් අද අධ්‍යාපනය ලබන ළමුන්ගෙන් 30%ක් පමන ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙනුම් කටයුතු කරන්නේ.මේ ප්‍රමානය ඉදිරියේදී 100% වනවා නොඅනුමානයි.එවැනි අධ්‍යාපනයක් තුලින් ලමයකුගේ ජාතික හැගීමක් උද්දීපනය වේයැයි සිතිය නොහැක.

    මම දකින ආකාරයටනම් මේ රටට වැඩිම හානියක් කලේ ඉන්ගිරිසි කාරයා.අද අපි ඔව්න්ගේ භාශාව නැතුව කිසිවක් කල නොහැකි තත්වයකට පත් වෙලා ඉන්නවා.ඒ අපි යටත්විජිතයක්ව සිටින කාලයේ අපේ මිනිසුන්ගේ මොල තුලට කාවැද්දවූ දෙයයි.මෙය අප රටට පමනක් සීමා වූ දෙයක් නොවේ.නමුත් ඔව්න්ගේ යටත්විජිතයක් වී ඔව්න්ගේ උපක්‍රම වලට අසුනොවූ රටවල්ද තිබේ.
    මේ ආකාරය ඉදිරියටත් පැවතුන හොත් සිංහල භාශාව තව වසර 100ක් ඇතුලත සම්පූර්නයෙන්මවාගේ නැතිවී යා හැක.එදාට අපි මේ ගැන කතා කරන එකේ කිසිම තේරුමක් නෑ.එය එසේ නොවීමටනම් අප දැන් සිටම භාශා පුනරුදයක් ඇති කල යුතුය.

    මෙහි වරදක් ඇත්නම් එයට සමාවනු මැනවි!

  1. Anonymous

    මේ රටේ ඉදල දියුණු වෙන්න බෑ!

    ඔහොම කියන එකා තමා මේ රටේ ලොකුම ද්‍රෝහියා....

    එහෙම කියලා පවුල් පිටන් රට යන මේ හැත්ත අන්තිමට මේ රටට එන්නේ ලොකු වෙච්ච දුවටයි දුවගේ අම්මටයි ජංගි අන්දලා හියි ෆයි විදියට වැල්ලේ අව්ව තපින්න....

    දියුණුවනම් ලැබුනා ඒත් උන්ගේ ඒ දරුවෝ උන්ට කතා කරන්නේ "old man" "bitch" ඒවගේ වචන වලින්....

    ඔන්න උන්ගේ දියුවණුව!!!

  1. Gayan Anuradh Liyanage

    @ 2nd Anonymous :
    සිරාවට.....තිත්ත උනත් කතාව නම් ඇත්ත..

  1. Anonymous

    භාශා පුනරුදය ඇති කල හැක්කේ භාශාව ඉගැන්වීමෙන් මිස වෙනයම් ක්‍රමයකින් නොවේ.ඔබ මදක් සිතා බලන්න අද සමාජයේ ඕනෑම අයෙක් එක්ක සිංහලෙන් කතා කලොත් වචන 10ට 5ක්ම ඉන්ග්‍රීසි.එහෙම කතා කරන්නේ ඔව්න්ගේ භාශා දැනුමේ ඇති අඩුපාඩුවක් නිසා සහ ඉන්ග්‍රීසි ලොකුයි යන මතය නිසාය.මෙයින් වන්නේ අප භාශාව හෑල්ලුවට ලක් වීම විනා අන් දෙයක් නොවේ.මේ මෑත කාලයේදී විශ්වව්ද්‍යාලයකට ඇතුලුවීමටත් ඉංග්‍රීසි අනිවාරය කිරීමෙන්ම පේන්නේ අපේ භාශාවෙන් ඉගෙන ගැනීමට හෝ නොහැකි බවය.වෙනත් රටවල උදාහරන ගැන මම ලිවීමට අනවශ්‍ය වන්නේ කලින් ලිපියේදී ප්‍රතිචාර වලදී ඒ ගැන හොදින්ම කියැවී ඇති නිසාය.නමුත් එක් දෙයක් කියන්නම් අද අන්තර්ජාලයේ 51% ප්‍රමානය චීන භාශාව මත රදා පවතින බව සමහර විට ඔබ නොදන්නවා ඇති.මම නම් කියන්නේ ඉංග්‍රීසි භාශාවක් වශයෙන් පමනක් ඉගෙන ගත යුතු බවය.භාශානම් කොතෙක් ඉගෙන ගත්තත් හොදක් මිස නරකක්නම් නොවේ.නමුත් අද අපි ඉංග්‍රීසි භාශාවකට පමනක් සීමා කර නැත.එය ලංකාව තුල ජීවත් වන මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය පවා තීරනය කරන සාධකයක් බවට පත් වී අවසන්.මේ තත්වය අප සියල්ලෝම එක් වී වෙනස් කල යුතු දෙයකි.

    මෙය මාගේ අදහසක් පමනක් බව සලකන්න.

  1. ෆැන්ටසි
    This comment has been removed by the author.
  1. ෆැන්ටසි

    ජාතියට ආලය ඇත්තා මහා වැරදි කරුවකු නොවේ...එය තමා හැදුනු වැදුණු පරිසරයට තමන් තුල ඇති කෘතගුණ දැක්වීමේ මුහුණුවරකි.
    තමා වැදු මවට දක්වන ලැදියාව ,බැදීම ,හිතවත් කම වෙනත් ගැහැනුන්ට නොපාන්නා සේ තම ජාතියට එවැනිම ලෙන්ගතු කමක් ඕනෑම ගුණමකු නොවන පුද්ගලයකුට සහජයෙන්ම හිමි වේ.
    මෙය පරිණාමනය වන යුගයේ සිට ඇති වුවකි.ගෝත්‍ර වශයෙන් සිටින අවදියේදී තම ගෝත්‍රයට සේවය කෙරුණි.

  1. Gayan Anuradh Liyanage

    @Anonymous
    ඔබ හරි.මගෙත් තව පුංචි අදහසක් තියෙනවා.. (පුංචියි කිව්වට ටිකක් දිගයි )
    ඕක තමයි ප්‍රශ්නෙ. ඉතින් ඇයි මෙහෙම ප්‍රශ්නයක් ඇති උනේ. ඕකට මම දකින ප්‍රධනතම හේතුව තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති අසමමිතිකභාවය. ඉගනුම් භෂාව ලෙස මව්බස නම් කලත් ඉන්ග්‍රීසිය සඳහ මෙතරම් වටිනාකමක් ඇති වුනේ ඇයි?
    ළමයි ඉගනගන්නේ මව්බසින්. නමුත් රැකියාවක් ගන්න ඕන කරන ප්‍රධාන සුදුසුකම ඉන්ග්‍රීසි. පාසල්වල ඉගිරිසිය උගන්වනවා.. එත් ඒ සමස්තයටමද? නෑ... ඔතනයි අවුල. දෙමව්පියන් තම දරුවන් ජනප්‍රිය යැයි සම්මත පාසල් වලට දමන්නට ඔච්චර පොරකන්නේත් ඔය ප්‍රශ්නෙ නිසාමයි නේද?
    ඒ පාසල් වල දරුවො මොනව නැතත් ඉන්ගිරිසිවත් හරියට ඉගනගනීවි යන විශ්වාසය දෙමව්පියො තුල තියෙනවා. ඒවයි ඉන්න සමාජයේ ලොකු තැන්වල (ගෙදරදීත් ඉන්ගිරිසි කතා කරන ) ලමයි කොච්චර මෝඩයො වුනත් උන් සමාජෙට ආවම පොරවල්. මොකද උන්ගෙ කඩ්ඩ සුපිරියි. භාෂාවක් ලෙස සින්හල තරම් දියුණු නැති ඉන්ගිරිසිය රත්තරන් කඩුවක් උනේ කොටසක් ඒක ඉගනගත්ත එක සහ තව කොටසක් ඉගන නොගත් එක. 1956 න් පස්සේ සමාජයේ මෙතරම් උගත් නූගත් බෙදීමක් ඇති උනේ ඔන්න ඔය නිසයි කියලයි මට හිතෙන්නෙ.
    අපි ඉගනුම් මාධ්‍ය ලෙස මව්බස නම් කලත් මම දන්න විදියට අසල්වැසි ඉන්දියාවේ බහුතරයක් පාසල්වල ඉගනුම් මාධ්‍ය ඉංග්‍රීසි. ඉන්දීය තරුණ පරපුරේ බහුතරයකට හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. උන් සුද්දන්ටත් වඩා සුපිරියට ඉන්ගිරිසියෙන් කතා කරනවා. ඒ නිසා ඔවුන්ට කඩ්ඩ මැජික් එකක් නෙවෙයි. ලංකාවේ ඉන්ගිරිසිය ඉගනුම් මාධ්‍ය කරන්නේ විශ්ව විද්‍යාලයටත් ආවට පස්සේ. එතකොට බහුතරයකට බබා හම්බවී අවසන්. මොකද කැම්පස් එන්නේ හෝඩියට ඇතුලත් කරන දරුවන්ගෙන් කීයෙන් කීදෙනෙක්ද? අනිත් උන් ඔක්කොටම වෙන්නේ කොහෙන් හෝ කඩුසටන් ටිකක් ඉගන ගෙන අර පොරවල් ගොඩට වැටෙන්නටය. නැත්නම් උන්ට බයිට් වෙලා ජීවත් වෙන්නටය.English කියල ලියා ගන්න බැරිව කැම්පස් එන කොල්ලෝ මාසෙන් දෙකෙන් සුපිරියට කඩ්ඩෙන් නෝට් ගහන තැනට එනවනම් ඔය කඩ්ඩෙ මහ ලොකු මැජික් එකක් නැහැ නේ.
    එක්කො සමස්ථ ඉගනුම් පද්ධතියෙම ඉගනුම් මාධ්‍යම ඉන්ගිරිසි කරන්න ඕන. එතකොට කාටත් ඉන්ගිරිසි පුලුවන් නිසා කවුරුවත් පොරවල් නෙවෙයි. නැත්නම් සමස්ථ පරිපාලන හා වෙළද පද්ධතියම ලංකාව තුල තමන්ගේ මාධ්‍ය ලෙස සිංහල නම් කරන්න ඕන. එතකොට සුද්දෝ චීන භාෂාව දැනගෙන චීනෙට යනව වගෙ සිංහල ඉගෙනගෙන මෙහෙට එයි. ඔය ප්‍රධන පාරවල් දෙකෙන් නොගිහින් අතුරු පාරවල් වල යනකන් ඉන්ගිරිසියට ඔය තියෙන තැන නැති කරන්න නම් බැරි වෙයි කියලයි මට හිතෙන්නේ.

  1. චතුරංග පෙරේරා [චතූගේ කථා]

    සිංහල භාෂාව ගැන කැක්කුමක් ඇති තව එකෙක් දැක්ක එක ලොකු හයියක්. මේ ලිපියක් බලන්න. ජය වේවා.

    http://chathucn.blogspot.com/2011/01/blog-post_31.html

  1. Gayan Anuradh Liyanage

    ඔබේ ලිපිය කියෙව්වා...සන්තෝශයි.... සුභවාදී වෙනසක් කරන්න ඕන කියන ඇම්ම, ඔබටත් තියෙන එකට...

Post a Comment